දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව තමන්ට නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා විසින් අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත්තේ නීතිඥ රන්ජන් ද සිල්වා මහතා මාර්ගයෙන්.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට ඒවා ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබුණා.
එම නඩු විභාග කිරීමෙන් අනතුරුව විත්තිකාර සරණ ගුණවර්ධන මහතා එම චෝදනාවලට වරදකරු කෙරුණු අතර ඔහුට එක් නඩුවකට බරපතල වැඩ සහිත වසර හතර බැගින් සිර දඬුවම් නියම කෙරුණා. ඒ අනුව නඩු හතර සදහා ඔහුට බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද නියම කරනු ලැබුවා.




