සති දෙකක් පුරා පැවැත්වෙන මහජන විරෝධතා සම්බන්ධයෙන් ඉරානයේ නීතිපති මොහොමඩ් මොවහෙඩි අසාද් විරෝධතාකරුවන්ට අනතුරු අඟවා තිබෙනවා.
ඔහු අනතුරු අඟවා ඇත්තේ පෙළපාලිවලට සහභාගී වන ඕනෑම අයෙකු "දෙවියන්ගේ සතුරෙකු" ලෙස සලකනු ඇති බවත්, ඉරාන නීතිය යටතේ මරණ දඬුවමට යටත් වන චෝදනාවක් වන බවයි.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වූයේ "කැරලිකරුවන්ට උදව් කළ" අයට පවා චෝදනා එල්ල වන බවයි.
ඉරාන නීතියේ 186 වන වගන්තියේ සඳහන් වන්නේ, කණ්ඩායමක් හෝ සංවිධානයක් ඉස්ලාමීය ජනරජයට එරෙහිව සන්නද්ධ විරෝධයක නිරත වුවහොත්, එහි අරමුණු සඳහා දැනුවත්ව සහාය වන සියලුම සාමාජිකයන් හෝ ආධාරකරුවන්, ඔවුන් පෞද්ගලිකව සන්නද්ධ ක්‍රියාකාරකම්වලට සහභාගී නොවුනත්, 'මොහාරෙබ්' (දෙවියන්ගේ සතුරන්) ලෙස සැලකිය හැකි බවයි.
නීති සංග්‍රහයේ 190 වන වගන්තියේ දක්වා ඇති 'මොහාරෙබ්' සඳහා දඬුවම් දරුණු වන අතර ඒවාට මරණ දඬුවම, එල්ලා මැරීම, දකුණු අත සහ වම් පාදය කපා ඉවත් කිරීම හෝ පිටුවහල් කිරීම ඇතුළත් වේ.
ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව පසුගිය සතියේ ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 13වැනි දිනටත් පැවැත්වෙනවා
එරට නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වන විට ආරක්ෂක අංශ නිලධාරින් 15දෙනෙකු ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 65දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම 2,300කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා.
විරෝධතාකරුවන් තවදුරටත් දේපළවලට හානි කරමින් ප්‍රචණ්ඩව හැසිරෙන අතර රට පුරා අන්තර්ජාල සේවා ද තවමත් පවතින්නේ අක්‍රිය තත්ත්වයේය.
මෙම විරෝධතා සම්බන්ධයෙන් එරට උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ විරෝධයේ නිරත පිරිස්වල අරමුණ අමෙරිකාව සතුටු කිරිම බවයි




