වොෂින්ටන් අගනුවර සිදුවන අපරාධ මර්ධනය කිරීම සඳහා එරට ජාතික ආරක්ෂක බලකාය කැඳවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අමෙරිකාවේ අගනුවර අපරාධ, ලේ වැගිරීම් සහ නින්දිත තත්ත්වයන්ගෙන් ගලවා ගැනීම සඳහා මෙම ඓතිහාසික ක්‍රියාමාර්ගය ගත් බවයි. වොෂින්ටන් අගනුවර ප්‍රචණ්ඩකාරී කල්ලි, ලේ පිපාසිත අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ උන්මත්තකයින් විසින් අත්පත් කරගෙන ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. එම තීරණයත් සමග වොෂින්ටන් අගනුවර ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග මෙහෙයවීම අමෙරිකානු ආරක්ෂක බලකාය වෙත පැවරෙනු ඇති බව වාර්තා වනවා. කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා ගෙන ඇති මෙම තීරණයට වොෂින්ටනයේ නගරාධිපති මියුරියල් බවුසර් සිය විරෝධය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 2023 වසර වන විට වොෂින්ටනයේ අපරාධ වර්ධනය වීමක් දක්නට ලැබුණ ද එය මෙම වසර වන විට අවම මට්ටමකට පත්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. වසර ගණනාවකට පසු වොෂින්ටනයේ අපරාධ අවම වෙමින් පවතින තත්ත්වයක් යටතේ අමෙරිකානු ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය සුදුසු නොවන තීරණයක් බව වොෂින්ටනයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. කෙසේවෙතත් ධවල මන්දිරය පවසා ඇත්තේ 2024 වසරේදී වොෂින්ටනය ඉහළම මිනී මැරුම් අනුපාතයක් ඇති නගරය බවට පත්ව ඇති බවයි.