ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ ප්‍රධාන වෙළඳ හවුල්කාර රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට අලුතින් ආනයන බදු පැනවීමට ඇමෙරිකාව ගත් තීරණයෙන් මෙරටට දැඩි බලපෑමක් එල්ල නොවන බව ආර්ථික විද්වතුන් පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන ක්‍ෂේත්‍රයේ කඩාවැටීමක් සිදු නොවන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.
කෙසේවෙතත් අමෙරිකාව තුළ අපනයන භාණ්ඩවල මිල ඉහළ යනු ඇති.
අලුතින් ආනයන බදු පැනවෙන රටවල් බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගැනීම වැළැක්වීමට ප්‍රමාණවත් ලෙස පියවර ගෙන නොමැති බව පවසමින් ඇමරිකාව මෙම නව බදු පනවා තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, බි්‍රතාන්‍යය, කැනඩාව සහ මෙක්සිකෝව ඇතුළු රටවල් 17ක් සඳහා පනවා ඇත්තේ සියයට 10ක බද්දක්.
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ තහනම් කිරීමට ඇමෙරිකාව සමඟ එකඟතාවලට පැමිණීම නිසා ශ්‍රී ලංකාව ඇතුළු මෙම රටවලට මෙලෙස සාපේක්ෂව අඩු බදු ප්‍රතිශතයක් පනවා තිබෙනවා.
කෙසේ වෙතත් චීනය, ජපානය, ඕස්ටේ්‍රලියාව සහ රුසියාව ඇතුළු එවැනි එකඟතාවකට එළඹ නොමැති වෙනත් රටවල් 41කට සියයට 12.5ක ඉහළ බද්දක් අය කිරීමටයි ඇමෙරිකාව තීරණය කර ඇත්තේ.
යුරෝපා සංගමයේ රටවලට ද සියයට 10ක බද්දක් පනවා තිබෙනවා.
තවද මෙම නව බදු අද සිට ක්‍රියාත්මක වන බවයි ඇමරිකාව නිවේදනය කර ඇත්තේ.
ඇමෙරිකාවට ගෙන්වන සමස්ත ආනයනවලින් සියයට 99කටම මෙම තීරණය අදාල වනවා.
ශ්‍රී ලංකාවේ සිට ඇමෙරිකාවට යවන ඇඟලුම් ඇතුළු ප්‍රධාන අපනයන භාණ්ඩ සඳහා ද බද්ද අදාලයි.
මේ අතර මෙම බදු වැඩි කිරීමත් සමඟ ඇමෙරිකාව තුළ භාණ්ඩ මිල ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.




