සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යේමනයේ හූති සටන්කාමීන් විසින් නැවත වරක් බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් දෛනික ගුවන් කටයුතුවලට දැඩි අවහිරතා ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හූති හමුදා ප්‍රකාශක යහ්යා සරියා X සටහනක් තබමින් පවසන්නේ පළමු ප්‍රහාරය මෙන්ම දෙවන ප්‍රහාරය ද ඉලක්කය වෙත සාර්ථකව පතිත වූ බවයි.

මෙම ප්‍රහාරයෙන් ගුවන් තොටුපොළට හානි සිදුව ඇති අතර, එහි නවතා තිබූ ගුවන් යානයකට ද දැඩි හානි සිදුව ඇති බව AFP ප්‍රවෘත්ති සේවය තහවුරු කළා.

තවත් යානා තුනකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්‍රහාරයත් සමඟ ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් විශාල ලෙස දුම් නැගුණු බව රියාද් නුවර සිටින මාධ්‍යවේදීන් පවසනවා.

මේ සමග රියාද් නුවර පාසල්වල ද ආරක්ෂාව දැඩි කර ඇති බවත් සමහර පෞද්ගලික ආයතනවල සේවකයින් කාර්යාලවලින් ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බවත් රියාද් නුවර සිටින මාධ්‍යවේදීන් වැඩිදුරටත් පැවසුවා.

ගුවන්තොටුපලට එල්ල වූ ප්‍රහාරයට අමතරව දකුණු යේමනයේ පිහිටි සෞදි රාජ්‍ය විසින් මෙහෙයවනු ලබන සන්ධානයේ හමුදා රැඳවුම් ස්ථාන වෙතද බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එහිදී ආයුද ගබඩා කිහිපයක ගිනිගැනීම්ද සිදු වූ බව හූති සටන්කාමීන් පැවසුවා.

තවත් පසෙකින් නිරිතදිග තායිස් පළාතේදී සෞදි අරාබියට අයත් සන්නද්ධ නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් ද පහර දී බිම හෙලූ බවයි හුතී සටන්කාමීන් පවසන්නේ.

කෙසේ වෙතත්, සෞදි රාජ්‍ය විසින් මෙහෙයවනු ලබන සන්ධානය පවසන්නේ රියාද් නුවර දෙසට එල්ල වූ බැලැස්ටික් මිසයිල දෙකක් සහ නිරිතදිග සෞදි අරාබියේ ඛමීස් මුෂායිට් ප්‍රදේශය දෙසට එල්ල වූ තවත් මිසයිලයක් තම හමුදා විසින් අහසේදීම විනාශ කළ බවයි.

2014 අගභාගයේදී හූති කැරලිකරුවන් යේමනයේ අගනුවර වන සනා සහ උතුරු ප්‍රදේශ අල්ලා ගැනීමෙන් පසු ආරම්භ වූ මෙම ගැටුමට, 2015 දී සෞදි රාජ්‍ය විසින් මෙහෙයවනු ලබන සන්ධානය ද මැදිහත් වුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ සිට සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොල වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා.