ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ඔක්තෝබර් 10) දින ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. 76 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික හමුදා උත්තමාචාරයක් ද පිරිනමනු ලැබීය.

එහිදී ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් ඇමතූ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) ජනාධිපතිතුමා වෙනුවෙන් ජාතික ස්වෛරීත්වය ආරක්‍ෂා කිරීමට දක්වන ලද නොසැලෙන කැපවීම, පශ්චාත් යුද සමයේදී ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා දැක්වූ දායකත්වය මෙන්ම, ස්වාභාවික විපත් හා ජාතික හදිසි ආපදා අවස්ථාවල දී දක්වන ලද කාර්යක්‍ෂම ප්‍රතිචාරය වෙනුවෙන් යුද හමුදාව වෙත සිය හෘදයාංගම ස්තූතිය පුද කළේය.

එමෙන්ම, ඔහු සිය වෘත්තීය අත්දැකීම් ඇසුරින් කරුණු දක්වමින්, හමුදාමය වෘත්තීයභාවයේ මූලික පදනම ලෙස විනය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ආදර්ශයෙන්, උපදේශනයෙන් සහ හමුදා ප්‍රමිතීන් ස්ථීර නමුත් සාධාරණව බලාත්මක කිරීමෙන් හමුදා සාමාජිකයන් තුළ විනය පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු එම නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

තවද, සියලු අංශවල විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් ඉහළ වෘත්තීය ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී වර්ධනය වන ජාතික ආරක්‍ෂක සහ සංවර්ධන අභියෝගවලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා බහුකාර්ය සහ අනුවර්තනය විය හැකි ප්‍රවේශයක අවශ්‍යතාව පිළිබඳ ඔහු කරුණු ඉස්මතු කළේය.

දූෂණ හා වංචා ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා හමුදා සම්පත් සහ මෙහෙයුම් කළමනාකරණයේදී අවංකභාවය පවත්වා ගතයුතු බව අවධාරණය කළේය. "ප්‍රමාණාත්මකව කුඩා වුවද, ඕනෑම ආකාරයක දූෂණයක් මහජන විශ්වාසය ඛාදනය කරන අතර, එමගින් අප ආරක්‍ෂා කිරීමට බැඳී සිටින වටිනාකම් හීන කරයි. විධාන දාමය පුරාවට විනිවිදභාවය සහ වගවීම නිරන්තරයෙන් ක්‍රියාත්මක විය යුතුය," ඔහු ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්, මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ හමුදා සාමාජිකයන්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා සියලු නිලධාරීන් වගකීමේ සහ අධීක්‍ෂණයේ ඇති තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කළේය. ඔවුන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම, වෘත්තීය වර්ධනය, මෙහෙයුම් සූදානම සහ පිරිස්වල සුභසාධනය ප්‍රධාන ප්‍රමුඛතා විය යුතු බවද, ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය ද සහතික කිරීම අත්‍යවශ්‍ය බවද දැක්වීය.

තවද ඔහු යුද්ධ හමුදාව සතු ආයුධ හා පතොරම්වල ආරක්‍ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධාරණය කළේය. "හමුදාවන් සතු සම්පත් සියල්ල කිසිදු අතපසුවීමකට ඉඩක් නොතබමින් ඉතා අවධානයෙන් ආරක්‍ෂා කළ යුතුය." ඒ අනුව සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමා යටතේ පාලනය වන සියලු සම්පත් පිළිබඳ පූර්ණ අධීක්‍ෂණයෙන් කටයුතු කරන ලෙසත්, සම්පත් කළමනාකරණය වැඩි දියුණු කරන ලෙසත්, අතිශය තීරණාත්මක හමුදාමය සම්පත් ආරක්‍ෂා කිරීමේදී ඉහළම ප්‍රමිතීන් සහතික කරන ලෙසත් ඔහු අවධාරණය කළේය.

සිය කථාව අවසානයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රජයේ නොසැලෙන සහයෝගය යළි තහවුරු කළ අතර, යුද්ධ හමුදාව සතු වෘත්තීයභාවය, එකමුතුකම සහ ශක්තිමත්ව අනාගත අභියෝගවලට මුහුණ දීමේ හැකියාව පිළිබඳව විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන් සහ අනෙකුත් උසස් නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.