ඇමරිකාව සහ ඉරානය අතර යළි හටගෙන ඇති යුද ගැටුම්කාරී තත්ත්වය දීර්ඝ කාලයක් පවතින්නක් නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්, ඕනෑම මොහොතක ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු සන්නද්ධ බලකායන් සූදානමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර ඇමරිකාවේ මෙම තර්ජනාත්මක ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් ප්‍රකාශ කළේ, ඉදිරියේදී වොෂින්ටනයට ඉරානයේ නව යුධ උපායමාර්ගය දැකබලා ගැනීමට හැකිවනු ඇති බවයි.

පසුගිය දින කිහිපය තුළ හොර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට එල්ල වූ ප්‍රහාර සහ ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් කලාපයේ උණුසුම් තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා.

මෙම පසුබිම හමුවේ දෙපාර්ශ්වය අතර වචන හුවමාරුව සහ තර්ජන තවදුරටත් දැඩි වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

එවන් පසුබිමක් තුළ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ සෞදි අරාබියට අයත් විශාල ප්‍රමාණයේ තෙල් ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් එහි සේවය කළ පිලිපීන ජාතික නාවිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවව විදෙස් මාධ්‍ය පවසනවා.

සෞදියේ ‘බහ්රි‘ නාවික සමාගමට අයත් ‘සිදර්‘ නැමැති මෙම නෞකාව ඕමානයේ මුසන්දම් අර්ධද්වීපයට උතුරින් පිහිටි මුහුදු සීමාවේදී ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරය ඉරානය විසින් එල්ල කරන ලද්දක් බවයි.

ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි ක්‍රියා වහාම නතර කළ යුතු බවට සෞදිය අවධාරණය කරනවා.

කෙසේවෙතත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, අදාළ නෞකාව නීති විරෝධී මාර්ගයක ගමන් කිරීම හේතුවෙන් සාගර බෝම්බයක ගැටීමෙන් ගිනිගෙන ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

මෙම සිදුවීමට අමතරව දකුණු කොරියාවට අයත් තවත් තෙල් නෞකාවක්ද එම ප්‍රදේශයේදීම ප්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.