මොණරාගල, මාගන්දනමුල්ල මාර්ගයේ ළිදේකඩේ හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොණරාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

එහිදී යතුරුපැදිකරු සහ ලොරි රථෙය් රියැදුරු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ ගොවිපල හන්දිය ප්‍රදේශයේ සිදුවූ තවත් අනතුරකින් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

මාතලේ දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි කටුගස්තොට පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව කටුගස්තොට රෝහලට ඇතුලත් කරන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිට තිබෙනවා.

ඇය කටුගස්තොට ප්‍රදේශයේම පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි කටුගස්තොට පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වැලිවේරිය - බියගම මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

බියගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එම දිසාවටම ඉදිරියෙන් ගමන් කල තවත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරුව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයකද ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

එහිදී පසුපසින් ධාවනය වූ ත්‍රිරෝද රථයේ රියැදුරා බරපතල තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 19ක් වූ ඔහු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියැදුරා ගම්පහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් ත්‍රිරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි වැලිවේරිය පොලීසිය පැවසුවේ.

මේ අතර හොරණ - මීපේ මාර්ගයේ මිල්ලෑව ප්‍රදේශයේදී මීපේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් විදුලි රැහැන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි මොරගහහේන පොලීසිය පැවසුවේ.

මේ අතර යාපනය - මන්නාරම මාර්ගයේ පල්ලිකුඩා හන්දියේදී යතුරු පැදියක් බස් රථයක ගැටි තවත් අනතුරක් සිදුව තිබෙනවා.

මන්නාරම දෙසට ධාවනය වූ බස් රථයක් දකුණට හැරවීමට යාමේදී එම දිසාවටම පිටුපසින් ගමන්ගත් යතුරුපැදියක් බස් රථෙය් ගැටී එම අනතුර සිදුව ඇති බවයි පුනරීන් පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රිතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 22 ක් වූ තෙලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පුනරීන් පොලීසිය පැවසුවේ.