ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක තිබෙනවා.

එහිදී පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ එහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නාහිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමටද සහභාගි වී තිබෙනවා.

ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේ.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාසවලට සිදුවූ හානි සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවරයන් සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වුණා.

වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි මුදල් ලබා දුන්නද එම මුදලින් යළි වගා කටයුතු ආරම්භ කිරීමට ගොවීන් පෙළඹවීමට නිලධාරීන් කටයුතු කළයුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.