අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් ස්ථානමාරු කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එය ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව අම්බලන්ගොඩ අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිර උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එහි දැක්වෙන වියපත් පුද්ගලයා පසුගිය 24 වනදා රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පලායාමට උත්සාහ කිරීමේදී ඇදවැටීමෙන් තුවාල සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට සහ බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

විශේෂ විමර්ශනයේ ප්‍රතිඵල මත ඉදිරියේදී අදාළ නිලධාරීන්ට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.