වාහනවල අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් පළ කළා.

මෙම ප්‍රමාදය සැලකිල්ලට ගනිමින් තාවකාලික අංක තහඩු භාවිතා කිරීමට අවසර දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අධික ලෙස ඉහළ ගොස් ඇති වාහනවල ආසන පටි මිල ගණන් ක්‍රමයෙන් අඩුවනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත්තේ වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවයි.

ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.