අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද දහවල් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව සඳහන් කළා.

පැමිණිලිකරුගේ වැඩිමහල් දියණිය මෙම වසරේ විශාඛා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර දීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා තිබෙනවා.

ඉන් රුපියල් ලක්ෂයක මුදලක් අවස්ථා තුනකදී ලබාගෙන ඇති අතර ඉතිරි ලක්ෂ දෙකක මුදල ඉල්ලා ගත් අවස්ථාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අදාළ සැකකරු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.