2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර අද ආරම්භ වනවා.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද දිනයේ සිට අධ්‍යයන කටයුතු සිදුවනවා.

නව අධ්‍යයන වර්ෂය තුළ පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29වනදාත් 06 වන ශ්‍රේණියේ දරුවන් සදහා ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

2026 පළමු පාසල් වාරය අද ආරම්භ වන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ මොඩියුල පිළිබද දැඩි කතා බහක් මතුව ඇති පසුබිමක් තුළයි.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව තවදුරටත් ආණ්ඩුවට මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනා කරමින් සිටිනවා.

කෙසේවෙතත් ප්‍රශ්නගත 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා.

ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව එහිදී විමර්ශනය සිදුකර තිබෙනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ද වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළා.

අදාළ සිද්ධියට වගකිව යුත්තන් සොයා තවත් පරීක්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය බෙදා හැරීමට පෙර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළා.

ඔවුන් දෙන නිර්දේශ මත පදනම්ව හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ළමුන් අතට පත් කිරීමට කඩිනමින් පියවර ගැනීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනද කඩිනම් කර තිබෙනවා.

එම නිලධාරීන් මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.