නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ඉදිරි දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය ජුලි මස 17 දින පෙරවරු 10.00ට යෙදෙන සුබ මොහොතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිත තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතයි.

2017 වර්ෂයේ දී “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නමුත් 2019 වර්ෂය අවසානය වන විට ඉදිකර ගැනීමට හැකි ව ඇත්තේ මෙම අළුතින් ඉදි කළ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට පිටුපසින් පිහිටා ඇති පරිපාලන සංකීර්ණය පමණි.

ඒ අනුව 2024 වර්ෂයේ දී ඉදිරිපස තිබූ පැරණි අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කර රුපියල් මිලියන 69 ක් වියදමෙන් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් පොළොන්නරුව නව තැපැල් කාර්යාලය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ තැපැල් සේවාව තැපැල් කාර්යාල 12 කින් හා උප තැපැල් කාර්යාල 91 කින් සමන්විත වනවා.