Published
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්. එස්. චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙන බවයි.
එම අධි චෝදනා මේ වන විට විභාගය සඳහා නියම කර තිබෙන බවත් විත්තිකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙන බැවින් තම අධිකරණයේ පවතින නඩු කටයුත්ත අවසන් කරන බව නියෝග කළා.
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් "දූෂණය" නැමති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චන්ද්‍රසේන මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.




