වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ, ධවල මන්දිර රැස්වීමකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තම නොබෙල් සාම ත්‍යාග පදක්කම පිරිනමා තිබෙනවා.

ට්‍රම්ප් හමුවීමෙන් පසු විපක්ෂ නායිකාව පවසා ඇත්තේ අද දිනය වෙනිසියුලානු ජාතිකයන් වන සියලු දෙනාට ඓතිහාසික දිනයක් බවයි.

ට්‍රම්ප්, සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සිය කෘතඥතාව පළ කර තිබුණේ ඇයගේ මෙම තීරණය අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු උදාහරණයක් බව පවසමින්.

මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසා තිබුණේ තමා නොබෙල් සාම ත්‍යාගයේ පදක්කම ප්‍රදානය කළේ සිය රටේ නිදහස සමඟ ට්‍රම්ප්ගේ අද්විතීය කැපවීම සඳහා පිළිගැනීමක් ලෙස බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝග මත එරට හමුදා කැරකස්හිදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම හමුව සිදු වුණා.

ඔවුන් දෙදෙනා පෞද්ගලිකව මුණගැසුණු පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ නිරන්තර බලාපොරොත්තුවෙන් සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට ලබාදීම පිළිබඳව ද මීට පෙර අප්‍රසාදය පළ කළා.