අනාගතයේ බලයට පත්වන ජනාධිපතිවරුන්ට ධවල මන්දිරයේ ඕවල් කාමරයේ යම් යම් වෙනස්කම් සිදුකිරීම වැළැක්වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විශේෂ විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.

තමන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය ජාතික ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි එමගින් පියවර ගෙන ඇත්තේ.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඕවල් කාමරය ජාතික ස්මාරකයක් බවට පත්කිරීම හරහා වෙනත් හැඩයකින් යමක් නිර්මාණය කිරීම සඳහා කිසිවෙකුටත් එය විනාශ කිරීමට හෝ කඩා දැමීමට ඉඩ නොලැබෙන බවයි.

එමෙන්ම තමන් විසින් වෙනස්කම් සිදුකිරීමට පෙර ධවල මන්දිරය සහ ඕවල් කාමරය දැඩි ලෙස හානියට පත්ව තිබූ බවත්, එහි කඩාවැටුණු ජනේල, පැළුණු බිත්ති සහ හානියට පත් ගල් පඩි පැවති බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, එහි සිදුව ඇති බොහෝ කැපී පෙනෙන වෙනස්කම් අලංකරණ කටයුතු වන අතර, ඕවල් කාමරයට පිටතින් ලෙස සටහන් කළ විශාල රන් පුවරුවක් සවිකිරීම, රෝස උද්‍යානය කොන්ක්‍රීට් අතුරා අලුත්වැඩියා කිරීම සහ නව හෙලිකොප්ටර් යානාංගනයක් එකතු කිරීම ඒ අතර වනවා.

ඕවල් කාමරය යනු ධවල මන්දිරය මෙන්ම රටේ මහත්භාවය විදහා දක්වන සංකේතයක් බවත්, පසුගිය මාස කිහිපය තුළ එහි පැමිණි ලෝක නායකයින් තමන් සිදුකළ අලංකරණ කටයුතු අගය කළ බවත් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්, ට්‍රම්ප් ලබාදුන් මෙම විධායක නියෝගය අනාගත ජනාධිපතිවරයෙකුට හෝ අධිකරණමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ වෙනස් කිරීමට හැකිවේද යන්න මෙතෙක් පැහැදිලි නැහැ.

වත්මන් නීතියට අනුව අමෙරිකානු ජනාධිපතිවරුන්ට ධවල මන්දිරයේ යම් යම් වෙනස්කම් කිරීමට බලය පැවරී තිබුණද, විශාල පරිමාණයේ ව්‍යාපෘති සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ අවසරය හිමිවිය යුතුයි.

කෙසේවෙතත්, මෙම විධායක නියෝගය මගින් ජනාධිපතිවරයාට ඕවල් කාමරය නැවත අලංකාර කිරීමට, ගෘහ භාණ්ඩ තේරීමට හෝ එහි ඓතිහාසික හා ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලට හානියක් නොවන පරිදි සාමාන්‍ය ආරක්ෂක වෙනස්කම් කිරීමට ඇති බලයට බාධාවක් නොවන බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.