මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ ‘නවෝදයාපුරම්‘ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

කබරගල කන්ද නායයාමෙන් පවුල් 50කට පමණ නිවාස අහිමිවුණා.

එතැන් සිට ඔවුන්ට සිදුවුයේ ප්‍රදේශයේ වසා දමා තිබු තේ කම්හලක ජීවත් විමටයි.

ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්.

පර්චස් 10 බැගින් වු ඉඩම්වල අංග සම්පුර්ණ නිවාස 50ක් ඉදිකර තිබෙනවා.

වර්ග අඩි 550කින් සමන්විත මෙම එක් නිවසක් සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 32ක්.