ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ හමුදා සෙබළුන් 06 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට හැරී ඇති බව පොලොන්නරුව මහ රෝහල පවසනවා.
ඒ අනුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔවුන් මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් අද අලුයම සිදුකල විමසීමකදී පැවසුවේ.
එම හෙලිකොප්ටර් යානය ඊයේ උදෑසන 06.46ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරෙන් ගුවන් ගත වී මාදුරු ඔය යුද්ධ හමුදා විශේෂ බලකා කඳවුර වෙත ගොස් විශේෂ බලකා විසිර යාමේ පෙළපාලියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සඳහා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුළු වේලාවකට පසු එම අනතුරට ලක් වුණා.
එම අවස්ථාවේ යානයේ නියමුවන් දෙදෙනා හා කාර්ය මණ්ඩලය ඇතුළු 12 දෙනෙකු ගමන් කර තිබෙනවා.
අනතුරට ලක් වූ යානයේ ගමන් ගත් සියලු දෙනා මුදාගැනීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර සඳහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහල වෙත මාරු කෙරුණා.
එහිදී හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුද්ධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතර දෙනෙකු මියගොස් ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
එම හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.
එලෙස අනතුරට ලක් වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 පියාසර බලඝණයට අයත් හෙලිකොප්ටර් යානයක්.