රුසියානු තානාපති කාර්යාලයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් භාර දී පලා ගිය විදෙස් ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ජර්මන් ජාතික කාන්තාව ඉකුත් අප්‍රේල් 28 වනදා රුසියානු තානාපති කාර්යාලයේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු හට එම ලැප්ටොප් පරිගණකය ලබා දී පලා ගොස් තිබූ බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලීසිය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් එම සිද්ධියට අදාළ ජර්මන් ජාතික කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ විමර්ශන අවසන් වනතෙක් ඇයගේ ගුවන් ගමන් තහනම් නියෝගයක් පසුගිය 04 වනදා අධිකරණය මගින් ලබා ගත් බවයි පොලීසිය පැවසුවේ.
එවන් පසුබිමක් තුළ එම ජර්මානු ජාතික කාන්තාව විදෙස්ගත වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එහිදී පනවා තිබූ ගුවන් තහනමට අනුව ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය මගින් සැකකාර විදෙස් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.
ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇය කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
ඒ අනුව සැකකාර ජර්මන් ජාතික කාන්තාව අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරුණු බවද පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.