ප්‍රංශයේ පාසල් සිසුන් ආරම්භ කර ඇති දැඩි විරෝධතා හමුවේ ප්‍රංශ රජය ප්‍රථම වතාවට යම් එකඟතාවකට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පාසල් සඳහා අතිරේක ආදේශක ගුරුවරුන් 3,000 ක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්රයේ සම්පත් හා පහසුකම් ඉහළ නංවන ලෙස ඉල්ලමින් ආරම්භ වූ මෙම විරෝධතාවලදී මේ වන විට පුද්ගලයින් 6,800 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සියයට 86 ක්ම වයස අවුරුදු 18 ට අඩු පාසල් සිසුන් බවයි සඳහන් වන්නේ.
විරෝධතාවයේ සිව්වන අදියර ලෙස රට පුරා 71,000 කට ආසන්න පිරිසක් වීදි බැස ඇති අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර පවා එල්ල කර තිබෙනවා.
කෙසේවෙතත්, සිසුන් වෙනුවෙන් ලබාදුන් මෙම සහනය ප්‍රමාණවත් නොවන බවත්, අධ්‍යාපන ක්ෂේත්රයට යුරෝ බිලියන 10 ක මුදලක් වෙන්කරන තෙක් තම අරගලය නතර නොකරන බවත් ශිෂ්‍ය සංගම් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




