ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය නිමව පිටව යන පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ගරු Faheem-Ul-Aziz (විශ්‍රාමික) මැතිතුමා ඊයේ (පෙබරවාරි 02) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවී සිය සමුගැනීමේ නිල හමුවීම් සිදු කර තිබෙනවා.
කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන මහ කොමසාරිස්වරයාව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලීව පිළිගෙන තිබෙනවා.
අනතුරුව, පාකිස්ථාන දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්වරයා හමුවූ අතර, එහිදී ඔවුන් දෙරට අතර පවතින සබඳතා පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම හමුවීම්වලදී දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වි තිබෙනවා.
විශේෂයෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මෑතකදී සිදුවූ දිට්වා ආපදා තත්ත්වයේදී පාකිස්ථාන රජය ලබා දුන් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අවංක කෘතඥතාව පළ කර තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර අවස්ථාවලදී පාකිස්ථානය ලබා දුන් නොමසුරු සහයෝගය සහ සහෝදරත්වය ආරක්‍ෂක ලේකම්වරයා විසින් අගය කරන ලැබුවා.
විශේෂයෙන් ආරක්‍ෂක සහ ධාරිතා වර්ධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට පාකිස්ථානය නිරතුරුවම කැපවී සිටින බව මහ කොමසාරිස්වරයා මෙහිදී යළිත් තහවුරු කර තිබෙනවා.
මෙම නිල හමුවීම් සඳහා පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Muhammad Farooq ද සහභාගී විය.





