මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යලි ජුලි මස 09 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ජුනි මස 16 වෙනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළ බව සඳහන් කළා.
එදින තෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල් තබන ලෙසත් ඔහු අධිකරණයට ඉල්ලා සිටියා.
ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම නඩුව ජූලි මස 09 වනදා දක්වා කල් තැබීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළා.
රුපියල් ලක්ෂ 730 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබෙනවා.




