ලෙබනනය වෙත එල්ල කරන හමුදා ප්‍රහාර සීමා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහු අතර පැවති හදිසි දුරකථන සංවාදයකදී මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි.

ඉරානය සමඟ ආරම්භ කර ඇති තීරණාත්මක සාම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ලෙබනනය දැනට පවතින සටන් විරාම රාමුවට නිල වශයෙන් ඇතුළත් නොවන බව දෙපාර්ශ්වයේම අදහසයි.

එහෙත් අමෙරිකාවේ සාම වැඩපිළිවෙළට සහාය දක්වන හවුල්කරුවෙකු වීමට ඊශ්‍රායලය මෙහිදී එකඟ වී තිබෙනවා.

ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් තමන් සටන් විරාමයෙන් ඉවත් වී ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ප්‍රහාර නතර කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හදිසි මැදිහත් වීම සිදු කර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලයට විශේෂ නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ, ලෙබනනය සමඟ හැකි ඉක්මනින් සෘජු සාකච්ඡා ආරම්භ කරන ලෙසයි.

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන චෝදනා හමුවේ අගමැතිවරයා ගත් මෙම තීරණය කලාපීය සාමය සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී පියවරක් ලෙස සැලකෙනවා.

හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම සහ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සාමකාමී සබදතා ඇති කර ගැනීම කෙරෙහි එම සාකච්ඡාවලදි අවධානය යොමු කරන ලෙසටයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමට කෙටි වේලාවකට පෙර ලෙබනන ජනාධිපති ජෝෂප් අවුන් ද මේ සම්බන්ධයෙන් එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා.

එකම විසදුම ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් බවත් පසුව දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විය හැකි බවත් ලෙබනන් අග්‍රාමාත්‍යවරයා සිය එක්ස් සටහනේ දක්වා තිබෙනවා.