Published
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා නාවික හමුදා පරිශ්‍රවලින් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ නියෝගයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
එම සමාගම සහ එහි සේවකයින් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
තින්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන බවයි.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන බැවින් එය නිෂ්ප්‍රභ කරන බවත් සභාපති විනිසුරුවරයා සඳහන් කළා.
මෙම පෙත්සම් ඉදිරිපත් කරමින් පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය නාවික හමුදා පරිශ්‍රවල පවත්වාගෙන ගිය සිය අවි ගබඩා ඉවත් කරගන්නා ලෙස ඉකුත් අගෝස්තු මස 28 වනදා ගනු ලැබූ තීරණයකට අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබූ බවයි.
ඒ අනුව අදාල අවි ගබඩා ඉකුත් නොවැම්බර් මස 28 වනදාට පෙර ඉවත් කරගන්නා ලෙස එම ලිපිය මගින් දැනුම් දී තිබූ බවත් පෙත්සම්වල සඳහන් කර තිබුණා.
මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන සහ කුවේර ද සොයිසා යන මහත්වරු මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෙම ව්‍යාපාරය සිය සේවාදායකයින් විසින් නීත්‍යානුකූලව පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් බවයි.
විකල්ප ස්ථාන ලබාදීමකින් තොරව අත්තනෝමතික ලෙස මේ ආකාරයෙන් අදාළ අවි ගබඩා ඉවත් කර ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට පටහැනි බවත් ඔවුන් තර්ක කර තිබුණා.
මෙම පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා සමග පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා සඳහන් කර තිබුණේ මෙම පෙත්සම් නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රබ කරන ලෙස මූලික විරෝධතා මතු කරන බවයි.
වග උත්තර කාර ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේ බවත් එසේ තිබියදී අවසාන මොහොතේ අධිකරණයට පැමිණ මේ ආකාරයෙන් සහන අපේක්ෂා කිරීම අනුමත කළ නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා තර්ක කර තිබුණා.
ඒ අනුව පෙත්සම්කාර සමාගමට පහසුකම් සැලසීමෙන් ඉවත් වීමට නාවික හමුදාව විසින් ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බවත් මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා නොතීසී නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධකරණ විනිසුරු මඩුල්ල අනතුරුව අද දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.




