ඉන්දියාවේ ආන්ධ්ර ප්රදේශ් ප්රාන්තයට බලපෑ 'අර්නාබ්' (Arnab) ප්රබල චණ්ඩ මාරුතය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරනවා.
ඉන්දියානු කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අතිශය චණ්ඩ මාරුතයක් ලෙස ගොඩබිමට කඩා වැදුණු අර්නාබ් කුණාටුව, පසුව ගොඩබිම ඔස්සේ ඉදිරියට ඇදී යාමත් සමඟ ක්රමයෙන් බලපෑම අඩු වී ඇති බවයි.
විසාකාපට්නම් වරාය නගරයේ සිදුවූ වෙනස් සිදුවීම් දෙකකදී විදුලි සැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඊස්ට් ගෝදාවරී දිස්ත්රික්කයේ ගසක් කඩා වැටීමෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
ප්රාන්ත ආපදා කළමනාකරණ බලධාරීන්ට අනුව, සුළඟේ වේගය පැයට කිලෝමීටර 135 දක්වා ඉහළ ගොස් තිබුණා.
ආන්ධ්ර ප්රදේශ් හි ප්රධාන අමාත්ය එන්. චන්ද්රබාබු නායිදු ප්රකාශ කළේ, ප්රාන්තයේ වෙරළබඩ දිස්ත්රික්ක 14 කට මෙමගින් දැඩි හානි සිදුව ඇති බවයි.
නිවාස, මාර්ග පද්ධති, විදුලි කණු සහ විදුලි බල පද්ධතියට දැඩි හානි සිදුව ඇති බැවින්, ඔහු මධ්යම රජයෙන් හදිසි ආධාර ද ඉල්ලා සිටිනවා.
මෙම චණ්ඩ මාරුතය හේතුවෙන් අක්කර 79,000 කට අධික වගාබිම් සහ නිවාස රැසක් විනාශ වී ඇති අතර, වඩාත්ම දැඩි හානියක් සිදුව ඇත්තේ කොනසීමා දිස්ත්රික්කයටයි.
එහි කෙසෙල් සහ පොල් වගාවන්ට විශාල ලෙස හානි සිදුව ඇති අතර, විදුලි කණු සහ ගස් උදුරා වැටීම නිසා මුළු දිස්ත්රික්කයේම විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා
කුණාටුව ගොඩබිමට ඇතුළු වීමේ ක්රියාවලිය අවසන් වුවද, ආන්ධ්ර ප්රදේශ් හි වෙරළබඩ ප්රදේශවලට සහ අසල්වැසි ඔඩිෂා ප්රාන්තයේ දකුණු ප්රදේශවලට තවදුරටත් තද වැසි සහ ප්රබල සුළං ඇතිවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.
අධික වර්ෂාව හේතුවෙන් විසාකාපට්නම් නගරයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා.
ආපදා තත්ත්වය හමුවේ බලධාරීන් විසින් ආන්ධ්ර ප්රදේශ් හි පහත්බිම්වල සිටි 1,80,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර තිබෙනවා.
බලධාරීන් සඳහන් කරන්නේ කුණාටුවේ ගමන් මඟෙහි මිලියන 12 කට අධික ජනගහනයක් වෙසෙන බවයි.
ජනතාව වෙනුවෙන් දිස්ත්රික්ක 20 ක් පුරා ආරක්ෂිත මධ්යස්ථාන 2,000 කට අධික සංඛ්යාවක් සූදානම් කර තිබෙනවා.
මීට අමතරව, ධීවර බෝට්ටු 30,000 කට වැඩි ප්රමාණයක් වෙරළට ගෙනැවිත් ආරක්ෂිතව තබා ඇති අතර, හදිසි වෛද්ය කණ්ඩායම් 1,100 ක් පමණ ආපදාවට ලක්වූ ප්රදේශවල සේවයේ යොදවා තිබෙනවා.
අසල්වැසි ඔඩිෂා ප්රාන්තය ද අවදානම් සහිත ප්රදේශවලින් 48,000 කට ආසන්න පිරිසක් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර, කුණාටුවේ බලපෑම හේතුවෙන් නේපාලයේ බොහෝ ප්රදේශවලට තද වැසි සහ අකුණු ඇතිවිය හැකි බවට එරට ආපදා ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා.
හිමාලයානු හා උසින් වැඩි ප්රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි සංචාරකයන්ට දැනුම් දී ඇත්තේ.
පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයන් 1,400 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් නේපාලයට බලපෑ මහ ගංවතුරින් පසු එරට තවමත් නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, මෙසේ නැවතත් අයහපත් කාලගුණයක් බලපෑම පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙනවා.



