නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉකුත් සමයේ රට තුළ ඇති වූයේ උණුසුම් කතාබහක්.

එවන් වටපිටාවක 06 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවත් වසරකින් කල් දැමීමට ආණ්ඩුව තීරණය කළා.

ඒ අතරතුර ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් ද ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගෙන ගිය සටන ඉවරද? නෙත් නිවුස් ජනාධිපතිවරයා කැඳවූ සාකච්ඡාවට සහභාගී වූ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් විමසා සිටියා.

මේ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා.

ඔහු මෙහිදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව ගන්නා පියවර කවරේද යන්න පිළිබඳවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

කෙසේවෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අවම සැකයක් හෝ ඉතිරි කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව සූදානම් නොමැති බවයි.

ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යාන්ත්‍රණයක අධීක්ෂණය යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ඉල්ලා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙසයි.