2025 අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මෙරටදී පැවැත්වෙන පළමු තරඟය අද පස්වරුවේ ආරම්භ වනවා.

එහිදී තරඟ වදින්නේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. පස්වරු 03.00ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම තරඟය මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය වනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන මෙම තරඟාවලිය පසුගිය 30 වනදා ආරම්භ වූ අතර පළමු තරඟ දෙක පැවැත් වුණේ ඉන්දියාවේදීයි.

මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟ 11ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර 2025 අයි.සී.සී කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයකින් ලකුණු 89ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ, නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 49යි පන්දු 03කදී සියලු දෙනා දැවී ලකුණු 326ක් රැස් කළා.

ඈෂ්ලී ගාඩ්නර් පන්දු 83කදී ලකුණු 115ක් රැස් කළා. ඒ, හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 43යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 237ක් පමණයි.

නවසීලන්ත කණ්ඩායමේ නායිකා ශොෆී ඩිවයින් පන්දු 112කදී ලකුණු 111ක් රැස් කළ ද එය තරඟයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ.