රුසියානු හමුදා විසින් යුක්රේනයේ කියෙව් අගනුවර ආසන්න ප්‍රදේශයකට එල්ල කළ ප්‍රහාරයකින් කඩා වැටුණු නේවාසික ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි හත් හැවිරිදි පිරිමි දරුවෙකු පැය 14කට පසු බේරා ගැනීමට එරට හදිසි සේවා අංශ සමත්ව තිබෙනවා.
ඊයේ (ඉරිදා) අලුයම 05.00ට පමණ කියෙව් කලාපයේ ඩයිමර් ගම්මානයේ පිහිටි මෙම ගොඩනැගිල්ලට රුසියානු ප්‍රහාරය එල්ල වී ඇත්තේ එහි පදිංචිකරුවන් නින්දේ පසුවෙමින් සිටියදීයි.
කියෙව් කලාපීය ප්‍රධානී ටයිමූර් ට්කාචෙන්කෝ සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත් සුන්බුන් අතර සිරවී සිට බේරා ගත් හත් හැවිරිදි දරුවාගේ තත්ත්වය යහපත් බවත් ඔහු මේ වන විට රෝහල් ගත කර ඇති බවත් යුක්රේන බලධාරීන් පවසනවා.
ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා 130කට අධික පිරිසකගෙන් යුත් පොලිස්, පුපුරණ ද්‍රව්‍ය විශේෂඥ, සුනඛ අංශ සහ වෛද්‍ය කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
නිරන්තරයෙන් නිකුත් කෙරෙන නව ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඉවාන් විහිව්ස්කි ප්‍රකාශ කළේ ඊයේ පස්වරුව වන විට යුක්රේනයේ කලාප 10ක් පුරා රුසියාව විසින් ප්‍රහාර 70කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි.




