නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතේ පාසලක් අසල සිදුවූ පිපිරීමකින් සිසුන් අවම වශයෙන් 6 දෙනෙකු මියගොස්, තවත් 97 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

කුනාර් පළාත් රෝහලේ ප්‍රධානී මවුලා ඩාඩ් අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ මෙම සංඛ්‍යා මූලික වාර්තා බවත්, ඉදිරි තොරතුරු සමඟ මරණ සහ තුවාල සංඛ්‍යාව වෙනස් විය හැකි බවයි.

අන්දර් සර් ප්‍රදේශයේ මධ්‍යම විද්‍යාලයක් අසල පිහිටි නිවසක අද පෙරවරු 10ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

පතල් කැණීම් කටයුතුවල නිරත පිරිසකට අයත් එම නිවසේ ඩයිනමයිට් තොගයක් ගබඩා කර තිබූ බවයි කුනාර් පළාතේ තොරතුරු හා සංස්කෘතික අධ්‍යක්ෂ මවුලවි සාමි-උල්-හක් සඳහන් කර ඇත්තේ.

මේ අතර, පසුගිය අගෝස්තු මාසයේදී ඇෆ්ගන් අගනුවර වන කාබුල්හි පාසල් සංකීර්ණයකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් අවුරුදු 9ත් 14ත් අතර වයසේ පසුවූ ළමුන් 40කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.