2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ චීනය තුළදී තායිවාන ජාතිකයින් 453 දෙනෙකු අතුරුදහන් වීම්, අත්අඩංගුවට පත්වීම් සහ විවිධ තහනම් කිරීම්වලට ලක්ව ඇති බවට තායිවානය දැඩි කණගාටුව සහ කඩිනම් අවධානය යොමු කර තිබේ.

තායිවානයේ Mainland Affairs Council නවතම සතිපතා වාර්තාව උපුටා දක්වමින් Taipei Times පුවත්පත මේ බව වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, තවත් තායිවාන ජාතිකයින් සිව්දෙනෙකු මෑතකදී අතුරුදන් වී ඇති අතර, ඒ සමඟම අතුරුදහන් වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව තවත් තායිවාන ජාතිකයින් 39 දෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර, පුද්ගලයින් 242 දෙදෙනෙකු චීන බලධාරීන්ගේ භාරයේ පසුවන බව ද 'තායිපේ ටයිම්ස්' වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම, තායිවාන රාජ්‍ය නිලධාරීන් සිව්දෙනෙකු ද චීන බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති බවට තොරතුරු ලැබී තිබේ. අපරාධ පරීක්ෂණ කාර්යාංශයේ නිලධාරියෙකු, බදු නිලධාරියෙකු සහ සෞඛ්‍ය හා සුභසාධන අමාත්‍යාංශයට අයත් රෝහලක සේවය කරන හෙදියක් ද ඊට ඇතුළත් වේ.

අදාළ හෙදියගෙන් චීන රාජ්‍ය ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කර ඇත්තේ ඇය මීට පෙර සේවය කළ හමුදා රෝහල පිළිබඳව බව පැවසෙන අතර, තායිවාන හෙදියක් මෙවැනි ප්‍රශ්න කිරීමකට ලක්වූ ප්‍රථම වාර්තාගත අවස්ථාව මෙය ලෙස ද පෙන්වා දී ඇත.