දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං අප්‍රේල් 19 සිට 24 දක්වා ඉන්දියාවේ සහ වියට්නාමයේ රාජ්‍ය සංචාරයන්හි නිරත වන බව වාර්තා වේ.

එරට ජනාධිපති උපදේශක වි සුන්ග්-ලැක් මාධ්‍ය හමුවකදී පැවසුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපති ලී සිය සංචාරය නවදිල්ලියෙන් ආරම්භ කරන බවයි.

වසර අටකට පසු දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු ඉන්දියාවේ සිදුකරන පළමු සංචාරය මෙය වනු ඇති බව ද ඔහු පැවසීය.

දෙරටේ නායකයන් අප්‍රේල් 20 වන දින සමුළුවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී නැව් තැනීම, කෘතිම බුද්ධිය (AI) සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

ජනාධිපති ලී ඉන්දියාවේදී දෙරටේ ව්‍යාපාරික නායකයන් සමඟ වටමේස සාකච්ඡාවකට ද සහභාගී වන බව සඳහන් වේ.

ලෝකයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ බලශක්ති සැපයුම් දාමයන් සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමට දකුණු කොරියාව අපේක්ෂා කරන බව වි සුන්ග්-ලැක් වැඩිදුරටත් පැවසීය.

එසේම ඉන්දියාවේ වෙසෙන දකුණු කොරියානු ජාතිකයන්ගේ ආගමන විගමන සහ පදිංචිය පිළිබඳ ගැටලු විසඳීමට ද ජනාධිපතිවරයා උත්සාහ කරනු ඇත.

අනතුරුව ජනාධිපති ලී අප්‍රේල් 21 වන දින හැනෝයි නුවර බලා පිටත්ව යන අතර පසුදා වියට්නාමයේ ඉහළම නායක තෝ ලැම් (To Lam) සමඟ සමුළුවක් පවත්වනු ඇත.

එහිදී බලශක්තිය, ගෝලීය සැපයුම් දාම සහ තීරණාත්මක ඛනිජ සම්පත් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව නායකයන් සාකච්ඡා කිරීමට නියමිත බව වි පැවසීය