චීනයේ පවතින ආර්ථික පසුබෑම, ඉහළ යන රැකියා විරහිතභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි තරුණ පරපුර තුළ පවතින දැඩි අප්‍රසාදය හැලොවීන් සැමරුම් තුළින් උපහාසාත්මක ලෙස කරළියට පැමිණීමත් සමඟ, බීජිං, ෂැංහයි සහ හැංජෝ නගර පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. 'දි ඉපොක් ටයිම්ස්' පුවත් පතට අනුව මෙම සිදුවීම වාර්තා වන්නේ ඔක්තෝබර් 31 වනදාය.

හැලොවීන් සැමරුම් සඳහා ජනප්‍රිය ස්ථාන වටා දැවැන්ත පොලිස් බලඇණි යොදවා තිබූ අතර, විනෝදාස්වාද මධ්‍යස්ථාන කිහිපයකම හැලොවීන් වේශ නිරූපණයන්, මුහුණු ආවරණ සහ විවිධ ඇඳුම් පැළඳුම් භාවිතය තහනම් කිරීමටද පියවර ගෙන තිබුණි.

චීන තරුණයන් 2023 වසරේ සිට කොවිඩ් මර්දන නීති සහ රජයේ ක්‍රියාකලාපයන්ට එරෙහිව හැලොවීන් සැමරුම් පිටපත තබා ගනිමින් විරෝධතා දැක්වීම හේතුවෙන්, මෙම උත්සව සමය මේ වන විට චීන ආණ්ඩුවට අතිශය සංවේදී එකක් වී ඇත.

ෂැංහයි නගරයේ චැංග්ලේ, යූයුවාන් සහ දකුණු ෂැන්සි යන ප්‍රධාන වීදිවලට විශාල පිරිසක් එකතු වී සිටියද, එම ප්‍රදේශ පුරා පොලිස් නිලධාරීන් සහ පාලන බාධක යොදවා තිබූ බව චීන සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් වේ. එමෙන්ම නඩත්තු කටයුතු හේතුවක් කරගනිමින් ෆූක්සිං උද්‍යානයේ රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සැමරුම් අංග කිහිපයක්ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.