පසුගිය 13 වනදා තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු සම්බන්දයෙන් මෙවන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවති බව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු වයස අවුරුදු 46 ක වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
අත්අඩංගුවට ගැනුණු ආදාල වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබලෙකු බවත්, 2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලය තුළ නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවයි විමර්ශනයේ දී අනාවරණය වී තිබෙන්නේ වෙඩික්කරු විසින් අපරාධය සඳහා භාවිත කළ ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු ඊයේ රාත්‍රියේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය වෙත බාර දි තිබෙනවා.
මෙම වෙඩික්කරු ඊයේ පස්වරුව් ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගත් අතර මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් ප්‍රවාහන කරන ලද බවට සැකකෙරෙන ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්, ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව, බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෝටර් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධයට සම්බන්ධ අනෙක් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි




