ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වීම සහ සහාය වීම සම්බන්ධයෙන් පාකිස්ථානයට යළි චෝදනා එල්ල වෙමින් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

තම දේශසීමා හරහා සන්නද්ධ කල්ලි සිදු කරන නීතිවිරෝධී ඇතුළුවීම් වාර්තා කරමින් ඇෆ්ගනිස්ථානය චෝදනා කරන්නේ, අදාළ ප්‍රහාරක කණ්ඩායම් සඳහා පාකිස්ථානය සෘජුවම සහාය, පුහුණුව සහ අනුග්‍රහය ලබාදෙන බවයි.

ඇෆ්ගනිස්ථානයේ නූරිස්ථාන් ප්‍රදේශයේදී සන්නද්ධ ප්‍රහාරකයින් 41 දෙනෙකු ඝාතනය කිරීමට සහ තවත් 62 දෙනෙකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට තම ආරක්ෂක බලකායන් සමත් වූ බව කාබුල් පාලනය ප්‍රකාශ කරයි. මෙම පිරිස ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් නියෝජනය කරන අතර, ඔවුන්ට පාකිස්ථාන බලධාරීන්ගේ සහාය හිමිව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම දේශසීමා ආක්‍රමණ සංවිධානය කර ඇත්තේ පාකිස්ථාන හමුදාවේ සෘජු මඟපෙන්වීම සහ සහයෝගය ඇතිව බව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

එමෙන්ම, පාකිස්ථාන භූමිය තුළ සන්නද්ධ කල්ලි සඳහා නවක සාමාජිකයින් බඳවා ගැනීමට, ඔවුන්ට අවශ්‍ය උපකරණ සහ ආයුධ ලබාදීමට පහසුකම් සලසමින් පාකිස්ථානය ඇෆ්ගනිස්ථානය තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරන බවටද කාබුල් පාලනය වැඩිදුරටත් චෝදනා කර සිටියි.