සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාතය හර්ෂණ නානායක්කාර, එම අමාත්‍යංශයේ ලේකම්වරිය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත පැවරී තිබෙන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් අනතුරුව ඥානසාර හිමියන්ව කොළඹ මහාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන් වහන්සේගේ චීවරය ඉවත් කර සිවිල් ඇදුමින් ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇති බවත් පෙත්සම තුළින් පෙන්වා දී තිබෙනවා.

උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගනු ලැබූ තීරණය බන්ධනාගාර රෙගුලාසිවලට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන් එය බෞද්ධ විනය නීතින්ට පටහැනි බවත් සඳහන් කළා.

ඒ අනුව පෙත්සම්කාර හිමියන් අධිකරණයෙන් අයැද සිටින්නේ වග උත්තරකාර ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

ඊට අමතරව එවැනි ක්‍රියාවක් සඳහා බල කෙරෙන බන්ධනාගාර රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් වේ නම් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර හිමියන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.