වසර 54ට පසු පළමුවරට සඳ වටා ගිය මිනිස් මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වන ‘ආටිමිස් 2‘ යටතේ ගගනගාමීන් 4දෙනෙකු සමග සඳ වටා ගිය ඔරායන් යානය දැන් නැවතත් පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

මෙම ඓතිහාසික ගමනේදී ඔවුන් පෘථිවියේ සිට සැතපුම් දෙලක්ෂ පනස් දෙදහස් හත්සිය පනස් හයක් දුරින් ගමන් කරමින්.

මිනිසෙකු අභ්‍යවකාශයේ ගමන් කළ වැඩිම දුර පිළිබඳ වාර්තාව අලුත් කළා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1970 වසරේ ගමන් කළ ඇපලෝ 13 යානයයි.

සඳේ පිටුපස අඳුරු කලාපය හරහා ගමන් කරන විට මිනිත්තු 40ක පමණ කාලයක් යානය පෘථිවිය සමඟ පැවති සියළු සබඳතා බිඳ වැටුණා.

නැවත සම්බන්ධතා ලැබුණු පසු මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කොක් පවසා සිටියේ නැවතත් පෘථිවියේ හඬ ඇසීම ගැන සතුටු වන බවයි.

ගමන අතරතුරු අභ්‍යවකාශයේ සිට සූර්යග්‍රහණයක් නැරඹීමේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ද ගගනගාමීන් හතර දෙනාට හිමිවුණා.

එහි සුන්දරත්වය විස්තර කිරීමට වචන නැති බවයි නියමු වික්ටර් ග්ලෝවර් පවසන්නේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද යානයේ සිටින ගගනගාමීන් අමතා සුබ පැතුම් එක් කළා.

ඔවුන් මුළු අමෙරිකාවම ආඩම්බරයට පත් කළ බව පැවසූ ජනාධිපතිවරයා පෘථිවියට පැමිණි පසු ඔවුන්ට ධවල මන්දිරයට පැමිණෙන ලෙසයි ආරාධනා කළේ.

සියලු දත්ත සහ ඡායාරූප රැගත් ඔරායන් යානය එළඹෙන සිකුරාදා රාත්‍රියේ පැසිෆික් සාගරයට පතිත වීමට නියමිතයි.