රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබුණද, වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගනු ලබන්නේ සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට තුනත් හතරත් අතර ප්‍රමාණයක් පමණක් බවත්, එම නිසා වී සඳහා නිසි තුලනාත්මක මිලක් ලබා ගැනීමේ ගැටලු‍වක් තවදුරටත් පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩි ලාල්කාන්ත මහතා පවසනවා.

විශේෂයෙන්ම ගොවීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලු‍ව වන්නේ තෙත වී අලෙවි කිරීමට සිදුවීමයි. මෙහිදී මෝල් හිමියන් රජයේ සහතික මිලට ප්‍රමිතියෙන් යුත් වියළි වී මිලදී ගැනීමට එකඟතාව පළ කර තිබුණද, ගොවීන් සතුව තෙත වී පවතින අවස්ථාවලදී කිලෝවක් රුපියල් 90ක් හෝ 95ක් වැනි අඩු මුදලකට අලෙවි කිරීමට සිදුවීමෙන් ගොවීන් දැඩි සූරාකෑමකට ලක්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වත්මන් අස්වැන්න නෙළීමේ යාන්ත්‍රික ක්‍රමවේදයන් හේතුවෙන් වී වියළා ගැනීමට කමතක් හෝ ප්‍රමාණවත් ඉඩකඩක් ගොවීන්ට නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

මෙම ප්‍රශ්නයට පිළියමක් ලෙස ගොවි සංවිධාන වෙත වී වියළීමේ යන්ත්‍ර ලබාදීමටත්, වී ගබඩා කිරීම සඳහා ගොවි සංවිධාන මට්ටමින් විශාල ගබඩා පහසුකම් සපයා දීමටත් ඉදිරියේදී කටයුතු යොදන බවත් ප්‍රකාශ කෙරුණා.

එමගින් ගොවීන්ට තමන්ගේ වී අස්වැන්න වියළා ගබඩා කරගෙන, තමන්ට අවශ්‍ය සුදුසු වේලාවට අලෙවි කිරීමට හෝ ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ.