කොට්ටාව, රුක්මලේ පාර ප්‍රදේශයේදී විවිධ වර්ගයේ ජිව පතරොම් තොගයක්, ටී-56 පතරොම් ගැබක්, ව්‍යාජ වාහන අංක තහඩු සහ හොරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
මත්ද්‍රව්‍ය, අවි ආයුධ, ව්‍යාජ වාහන අංක තහඩු ආරක්‍ෂ අංශ විසින් සිය භාරයට ගත් අවස්ථාවන් පිළිබද දැන් දැන් වැඩි වශයෙන් වාර්තා වනවා.
ඒවා සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු ලබාදීමට ජනතාව ද වර්තමානයේ වැඩි වශයෙන් ඉදිරිපත් වන බවයි ආරක්‍ෂක අංශ පවසන්නේ.
එලෙස තවත් තොරතුරක් ලැබී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුර වෙතයි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ එම කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් කොට්ටාව, රුක්මලේ පාර ප්‍රදේශයේ වැටලිමක් සිදුකර තිබෙනවා.
එහිදි විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී-56 පතරොම් ගැබක්, හෙරොයින් ග්‍රෑම් 75යි මිලි ග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන 02ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
වයස අවුරුදු 24ක් වන සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අගුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු වැඩිදුර විමර්ශන සදහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර අපරාධ සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 328 දෙනෙකු රැඳවීම් නියෝග මත රඳවාගෙන විමර්ශනය කරන බව පොලිසිය පවසනවා.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ සිදුවීම් 87කට අදාලව එම සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හරහා අවි ආයුධ රැසක් ද සිය භාරයට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් ඉදිරි දින 12ක කාලය තුළ ආරම්භ කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.




