බණ්ඩාරගම - කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී අද බිහිසුණු අනතුරක් සිදු වුණා.

ඒ, ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලබා ඇති පිරිස අතර නර්තන කණ්ඩායමක සාමාජිකයන් දස දෙනෙකු වනවා.

එමෙන්ම එකම පවුලේ මවක් සහ දියණියක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගෙන් හත් දෙනකු බණ්ඩාරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සෙසු පස්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත යොමු කළ බවයි වාර්තා වන්නේ.

ලොරි රථය මොරන්තුඩුව දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පැමිණ ලොරි රථයේ ගැටී පෙරළීමත් සමඟම ලොරි රථ රියදුරු තිරිංග තද කර ඇති අතර ලොරියේ පිටුපසින් පැමිණි වෑන් රථය ලොරියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා.

එම අනතුරක් සමගම ප්‍රදේශවාසීන් විසින් ලොරි රථ රියදුරට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෑන් රථයේ ගමන් ගත් පිරිස වස්කඩුව, පොතුපිටිය සිට හලාවත ප්‍රදේශයේ පෙරහරකට සහභාගි වීම සඳහා යමින් සිටි පිරිසක්.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ දුව කොළඹ මහ රෝලේ සායනයකට සහභාගී නැවත නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.