මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට සාපේක්ෂව, රට තුළ බලශක්ති පරිභෝජනය සීමා කිරීම සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ව්‍යාපාරික ස්ථාන වේලාසනින් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් පිරිමැසුම්දායක වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම නව නීති රීති බලාත්මක කර ඇත.

සංශෝධිත නව කාලසටහනට අනුව සියලුම වෙළෙඳපොළවල්, සාමාන්‍ය වෙළඳසැල් සහ සුපිරි වෙළඳ සංකීර්ණ රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු වේ.

කෙසේ වෙතත්, ආපනශාලා, බේකරි, සිල්ලර බඩු වෙළඳසැල් සහ අනෙකුත් ආහාර අලෙවිසැල් සඳහා රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමට අවසර හිමිව ඇත.

නියෝජ්‍ය කොමසාරිස් ඉර්ෆාන් මේමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉස්ලාමාබාද් දිස්ත්‍රික් පරිපාලනය විසින් මෙම සංශෝධිත ව්‍යාපාරික වේලාවන් සමාජ මාධ්‍ය ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

"රජයේ අරපිරිමැසුම් වැඩපිළිවෙළට සමගාමීව ඉස්ලාමාබාද් දිස්ත්‍රික් පරිපාලනය විසින් සංශෝධනය කරන ලද නව ව්‍යාපාරික වේලාවන් (ජුනි 01 දා) සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර තිබෙනවා," යනුවෙන් දිස්ත්‍රික් පරිපාලනය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

නව නීති යටතේ මංගල ශාලා, උත්සව ශාලා සහ අනෙකුත් උත්සව සංවිධානය කරන ස්ථානද රාත්‍රී 10.00 වන විට අනිවාර්යයෙන්ම වසා දැමිය යුතු බව බලධාරීහු අවධාරණය කරති.

එසේ වුවද, රෝහල්, ඖෂධසැල්, ඉන්ධන පිරවුම්හල්, කිරි නිෂ්පාදන අලෙවිසැල්, ක්‍රීඩා සංකීර්ණ, ඇමතුම් මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර සේවා සපයන තොරතුරු තාක්ෂණ සමාගම් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් රැසක් මෙම සීමා කිරීම්වලින් නිදහස් කර තිබේ.