ඉරානය විසින් කුවේටයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. යුද

අද අලුයම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රධාන මගී පර්යන්තයකට දැඩි හානි සිදු වූ අතර, ඒ හේතුවෙන් එරට සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් සියලුම ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

මෙම ආක්‍රමණශීලී ක්‍රියාව කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය බිඳ දමන්නක් බව පවසමින් කුවේට් රජය එය දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බවද අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ,

ගුවන් තොටුපළේ කටයුතු අර්ධ වශයෙන් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ප්‍රහාරයට ලක් නොවූ අනෙක් මගී පර්යන්තයේ ගොඩනැගිලිවල සූදානම සහ ආරක්ෂාව පිළිබඳව විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂණ සහ තාක්ෂණික ඇගයීම් සිදු කිරීමෙන් අනතුරුව, කුවේට් ජාතික ගුවන් සේවයට අයත් ගුවන් ගමන් වාර කිහිපයක් මෙලෙස යළි ආරම්භ කිරීමට බලධාරීන් අවසර ලබා දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හටගෙන ඇති නව ප්‍රහාරාත්මක තත්ත්වය හේතුවෙන් සාම සාකච්ඡා බිඳවැටීමේ අවදානමක් මතුව ඇති අතර, මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණා.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට මින් දිගින් දිගටම බාධා එල්ල විය හැකි බවට වෙළෙඳුන් තුළ මතුව ඇති බිය, මේ සඳහා ප්‍රධානතම හේතුව වී ඇතී බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව, අද දිනයේදී ගෝලීය තෙල් මිල දර්ශකය වන ‘බ්‍රෙන්ට්‘ බොරතෙල් බැරලයක මිල සියයට 2.6 කින් ඉහළ ගොස් ඩොලර් 98.50 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම, ඇමෙරිකානු තෙල් මිල දර්ශකය වන ‘ඩබ්ලිව්.ටී.අයි‘ බොරතෙල් බැරලයක මිලද සියයට 2.8 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 96.34 ක් ලෙසයි.

පසුගිය සිකුරාදා වෙළෙඳපොළ වසා දමන විට පැවති මිලට වඩා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 7 කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.