ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව අතිරේක කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පැවසුවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඔහු කියාසිටියා.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අතිරේක කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකි බව ද ප්‍රකාශ කෙරුණා.
මේ අතර ඇදහැළෙන මහ වැසි වැසි හේතුවෙන් මේ වනවිට ජලාශ 16 ක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.
ඇතැම් පාර්ශව තවමත් කාලගුණ අනතුරු ඇගවීම් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.




