තම වෙළෙඳ ව්‍යාපාරයේ වාර්ෂික බලපත්‍රය යාවත්කාලීන කර ගැනීමට තමා මිහින්තලේ ප්‍රාදේශීය සභාවට පැමිණි අවස්ථාවේ එම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු තමාගෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ බව පවසමින් ව්‍යාපාරිකයෙකු මිහින්තලේ පොලිසියට ඊයේ(05) පැමිණිල්ලක් යොමු කොට තිබෙනවා.

මිහින්තලේ මුස්ලිම් කටු කැලියාවේ පදිංචි ව්‍යාපාරිකයකු වන හුසේන් මොහොමදු හනීපා මහතා සිය පැමිණිල්ල මගින් මිහින්තලේ පොලිසියට පවසා ඇත්තේ තම වාර්ෂික වෙළෙඳ බලපත්‍රය 2026 වසරට යාවත්කාලීන කර ගැනීම සඳහා තමන් ඊයේ(05) මිහින්තලේ ප්‍රාදේශීය සභාවට පැමිණි බවයි.

එම අවස්ථාවේ එම ප්‍රාදේශීය සභාව තුළ සිටි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන එස් ඒම් සලීම් යන අය රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් තමාට ලබාදෙන ලෙසත් එසේ රුපියල් ලක්ෂ පහක කප්පම් මුදල ලබා නොදෙන්නේ නම් අදාළ වෙළඳ බලපත්‍රය අලුත් වැඩියා කිරීමට ඉඩ නොදෙන බව පවසමින් තර්ජනය කළ බවයි.

පසුව තමා මේ පිළිබඳව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට පැමිණිලි කළ බවද සිය පැමිණිල්ල මගින් ප්‍රකාශ කරන ව්‍යාපාරික හනීපා මහතා පසුව මේ පිළිබඳව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පැමිණිලි කිරීමට ගියද එම අවස්ථාවේ සභාපතිවරයා සභාව තුළ නොසිටි බවද පවසා තිබේ.

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ නොවන විපක්ෂ මන්ත්‍රීවරයෙකු මෙලෙස තමන්ගෙන් කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළේ ඔහුට ලැබී ඇති කුමන බලයක් නිසාද යන්න තමාට ගැටළුවක් බව ප්‍රකාශ කරන හනිපා මහතා ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකොට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද තම පැමිණිල්ල මගින් පොලිසියෙන් ඉල්ලා ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් දුරකථනයෙන් කරන ලද විමසුමකට ප්‍රතිචාර දක්වමින් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් කටුකැලියාව කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස් එම් සලීම් මහතා පැවසුවේ.

එවැනි පැමිණිල්ලක් දමා ඇත්නම් එය මුළුමනින්ම අසත්‍යයක් බවයි. එවැනි පැමිණිල්ලක් තිබේ නම් එය ද්වේශ සහගතව පළිගැනීමේ චේතනාවෙන් සිදු කළ එකක් බවටද චෝදනා කළ මන්ත්‍රී එස් එම් සළිම් මහතා.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන තමා වෙළද බලපත්‍රයක් අලුත් වැඩියා කිරීමට හෝ වෙනත් රාජකාරී කටයුත්තකට මාලිමාවට බලය හිමි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට හෝ එහි නිලධාරීන්ට බලපෑම් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.