පාකිස්තාන මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද "Beyond the Prison Wall: Reducing Overcrowding in Pakistan’s Prisons" නම් ප්‍රතිපත්ති වාර්තාවට අනුව, 2024 වසරේදී ද එරට බන්ධනාගාර තුළ දැඩි තදබදයක් පැවැති අතර, සමස්ත බන්ධනාගාර ගත පිරිසෙන් සියයට 73.41ක්ම නඩු විභාග බලාපොරොත්තුවෙන් පසුවන සැකකරුවන් බව හෙළි වී තිබේ.

මෙම වාර්තාව මඟින් බන්ධනාගාරවල පවතින අධික තදබදය, නඩු විභාගයට පෙර අත්අඩංගුවේ තබා ගැනීම්, ඇප ලබාදීමේ ක්‍රමවේදය මෙන්ම පරිවාස ක්‍රමවේද භාවිතය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර ඇත.

ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද '2024 බන්ධනාගාර දත්ත වාර්තාවට' අනුව, 2024 ජූලි-අගෝස්තු කාලය වන විට පාකිස්තාන පාලනය යටතේ පවතින ප්‍රදේශ සහ පළාත් පුරා පිහිටි බන්ධනාගාරවල සාමාන්‍ය රැඳවියන් සංඛ්‍යාව, එහි නිල ධාරිතාවට වඩා සියයට 152.2ක මට්ටමක පැවැතිණි.

2017 වසරේදී සියයට 66ක් ලෙස පැවැති නඩු විභාග බලාපොරොත්තුවෙන් පසුවන රැඳවියන්ගේ ප්‍රතිශතය 2024 වන විට සියයට 73.41 දක්වා ඉහළ ගොස් ඇති බව HRCP වාර්තාව පෙන්වා දෙයි. අකාර්යක්ෂම ඇප ක්‍රමවේද, දීර්ඝ අධිකරණ ක්‍රියාපටිපාටි සහ නඩු විභාගයට පෙර අනවශ්‍ය ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීම මෙලෙස රැඳවියන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

තවද, හිතුමනාපයට සිදුකරන අත්අඩංගුවට ගැනීම්, මන්දගාමී විමර්ශන සහ නඩු පැවරීමේදී සිදුවන ප්‍රමාදයන් ද මෙලෙස විශාල පිරිසක් නඩු විභාග බලාපොරොත්තුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට බලපා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන්ට මාස ගණනාවක් හෝ වසර ගණනාවක් තිස්සේ නඩු විභාගයකින් තොරව බන්ධනාගාරගතව සිටීමට සිදුවන බව ද වාර්තාව සඳහන් කරයි.

පන්ජාබ් පළාතේ බන්ධනාගාරවල මෙම අධික තදබදය වඩාත් උග්‍ර ලෙස දක්නට ලැබෙන අතර, NCHR දත්ත උපුටා දක්වමින් වාර්තාව පෙන්වා දෙන්නේ 2024 වසරේදී පන්ජාබ්හි බන්ධනාගාර තදබදය සියයට 173.6ක අධික මට්ටමක පැවැති බවයි.