ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන සංචාරය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ සිටින කාලය තුළ අති විශාල ආරක්‍ෂාවක් සැපයීමටයි මේ වන විට එකඟ වී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ සොයාබැලීම සඳහා පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි ඊයේ රාත්‍රියේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ඔහු විසින් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු කිහිප දෙනෙකු සමග සාකච්ඡාවකද නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතාද පැමිණ තිබෙනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද රාවල්පින්ඩිහිදී පැවැත්වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු සිදු සිදු කර තිබෙනවා.

පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ සොයාබැලීම සඳහා පැමිණ ඇත්තේ පුහුණුවීම් අතරතුරයි.