ඉදිරි අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට් බදුවල වෙනසක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 27 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කරමින් පැවැති සමාරම්භක උත්සවයට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් පවත්වාගෙන යනු ලබන “දරු දිරිය” ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසුන් වෙත ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, මෙවර අයවැය තුළින් පොත් සඳහා පනවා ඇති වැට් බදුවල විශේෂ වෙනසක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ප්‍රකාශ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  තමන්ට විශේෂයෙන් දැනුම් දුන් බවයි.

පොත්වල වටිනාකම දන්නා රජයක් ලෙස එවැනි වෙනසක් ජනතාවට කෙතරම් වැදගත් ද යන්න රජය හොඳින්ම වටහාගෙන ඇති බව ද අග්‍රාමාත්‍යතුමිය එහිදි කියා සිටියා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, වසරකට වරක් පැවැත්වෙන තවත් එක් ප්‍රදර්ශනයක් පමණක් නොව, එය මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලාපොරොත්තුවෙන් සිටින සංස්කෘතික ජීවිතයේම කොටසක් බවත්, 1999 වසරේ ඇරඹි මෙම ගමන දශක දෙකකට වැඩි කාලයක් පුරා මෙරට කියවීමේ සංස්කෘතිය පෝෂණය කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නා.

මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 4 වනදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රි 9 දක්වා පැවැත් වෙනවා. මෙවර ද රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව මගින් ද ප්‍රදර්ශණ භූමියේ විශේෂ කුටියක් ස්ථාපිත කර තිබෙනවා.

එම කුටියට පැමිණෙන ඔබ වෙනුවෙන් සුවිශේෂී හඬ පරීක්ෂණ මැදිරියක් ද සුදානම් කර ඇති අතර පාසල්වල නිවේදන, ප්‍රවෘත්ති නිවේදන, ගායන මෙන්ම හඬ කැවීමේ හැකියාවන් ඇති ඔබේ දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන, ඔවුන්ට ඉදිරියට යෑමට අත්වැලක් වීම එහි අරමුණයි.

ඒ අනුව පොත් ප්‍රදර්ශනයට පැමිණෙන්නන්ට නෙත් FM කුටිය වෙත පැමිණ හඬ පරීක්ෂණයට යොමු විය හැකියි.
එහිදී දක්ෂතා දක්වන දරුවන්ට ඉදිරියේදී නෙත් FM ළමා වැඩසටහන් සඳහා සම්බන්ධ වීමටද අවස්ථාව හිමිවනු ඇති.

එමෙන්ම මෙවරද ක්‍රියාත්මක වන "පොත් කැටය" වැඩසටහන සඳහා දායක වීමටද ඔබට හැකිඉයාව ලැබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ හඬ පරීක්ෂණ මැදිරිය ආසන්නයේම මෙම පොත් කැටය පිහිටා ඇති අතර . අඩු පහසුකම් සහිත අත්‍යවශ්‍ය පාසල්වල පුස්තකාල වෙත ලබාදීම සඳහා, අලුත් පොතක් මිලදී ගෙන අපගේ පොත් කැටයට පරිත්‍යාග කල හැකියි