ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස  කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නියම කරන ලෙස ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අප්‍රෙල් මස දෙවනදා කැඳවන ලෙස නියම කළා.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.