විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි මෙරට තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින්. ගුවන් තොටුපොළ සියලු‍ම පරීක්ෂණ නිමවා, ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිට වී යමින් සිටියදී, කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට ලද බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ තුළ වර්ග දෙකකින් යුත් දුම්වැටි 23,600ක් සගවා තිබියදී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු එම දුම්වැටි තොගය ඩුබායි රාජ්‍යයෙන් මිළදී ගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට කටාර් ගුවන් සේවයේ දරන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස සොයාගත් දුම්වැටිවල වටිනාකම රුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.