2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරන රාජ්‍ය සේවකයන් සිය කෑමේ පැයේදී විරෝධතාවයේ දැක්වීමට සූදානමින් සිටිනවා.
ඔවුන් සිය කාර්යාල ඉදිරිපිටදී එලෙස විරෝධතාවයේ නිරතවීමට නියමිත බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.
මේ අතර ගුරු විදුහල්පතිවරුන්ද අද කළු ඇදුමින් සැරසී පාසල් වෙත පැමිණ සිය විරෝධය දක්වනවා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව මහතා පැවසුවේ.
"ආණ්ඩු පක්ෂයට බැලමෙහෙවරකම් කරන වෘත්තීය සමිති කීපය ඇර අනිකුත් සියලුම වෘත්තීය සමිති අයවැය සම්බන්ධව තමන්ගේ තියෙන අප්‍රසාදය, අයවැයෙන් තමන්ට සහන නොලැබීම පිළිබඳව විරෝධය අද දිනයේ පළ කරනවා විවිධාකාරයෙන්. බොහෝ ආයතන ඉදිරිපිට අද කෑම පැයේ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වෙනවා. අධ්‍යාපන පද්ධතිය තුළ අපි උද්ඝෝෂණවලට යන්නේ නෑ අද දවසේ වාර විභාග පැවැත්වෙන නිසා. ඒ නිසා අධ්‍යාපන පද්ධතිය තුළ අද දින කළු විරෝධතාවයක් තමයි පැවැත්වෙන්නේ. අති සාර්ථක විදිහට අද දිනයේ මේ කළු විරෝධතාවය පවත්වන්න ලංකාවේ මහපොළොවේ තියෙන විදුහල්පති සංගම් අතරින් ආණ්ඩුවේ විදුහල්පති සංගමය ඇර අනිත් සියලුම විදුහල්පති සංගම් මේ කළු විරෝධතාවයට එක් වෙනවා. ඒ වගේම ගුරු සංගම්, ක්‍රියාකාරී ගුරු සංගම් 20කට වැඩි ප්‍රමාණයක් මේ කළු විරෝධතාවයට එකතු වෙනවා. ඒ නිසා අද දින ඉතා සාර්ථකව පාසල් පද්ධතිය තුළ මේ කළු විරෝධතාවය ක්‍රියාත්මක වෙන බව අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. මේ කළු විරෝධතාවයට අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් ලබන තිස්වෙනිදා පාසල් වහලා හරි එක්දින සංකේත වැඩ වර්ජනයකට යන්න සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම කටයුතු කරලා තියෙනවා. පාසල් විතරක් නෙමෙයි, එදාට තිස්වෙනිදාට රටේ සියලුම රාජ්‍ය ආයතන වැහෙනවා. අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වෙනවා අද දවසට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවේ නැත්නම් කියන එක අපි පැහැදිලිව සඳහන් කරනවා."
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
"මේ ජීවත් වෙන්න සරිලන වැටුපකට නම් මේ වෙලාවේ රුපියල් 25,000ක අතුරු දීමනාවක් ඕනේ කියන එක තමයි කියන්නේ. ඒ නිසා තමයි මේ සියලු සේවාවන්, පක්ෂ පාට වෘත්තීය සමිති භේදයක් නැතුව අද පාරට බහින්නේ. විශේෂ කාරණය තමයි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතිවල සාමාජිකයොත් අද මේ ක්‍රියාමාර්ගයත් එක්ක ඉන්නවා."
මේ අතර මෙවර අයවැයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේක්ෂා කළ කරුණු ඉටු නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ශාඛා සමිති රැස්වීමක් දැන් කැදවා තිබෙනවා.
ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ මෙම ශාඛා සමිති රැස්වීම් පැවැත්වෙනු ඇති.
එම කාලය තුළ රෝහල් කටයුතුවලටද බාධා එල්ල විය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.




